Wednesday, January 11, 2012

                        එදා හරිම ලස්සන දවසක්. අපි වෙනද වගේම පාසැල් යන්න බස් නැවතුමට ආව. තාම සීතල පින්න තැන තැන වැටිල දිලිසි දිලිසි තියෙනව. හැම කෙනෙක්ම එන එන බසයට අත දානව. අපි පාසැල් බස් රිය එනකල් පාර බලාගෙන. එකපාරටම ආව ආනන්ද නාලන්ද ස්කූල් බස් එක. මාව වතුරින් නහවගෙන ගියා. මට කරගන්න දෙයක් නැහැ.  ඒ කාලෙ කොලු විසේට කරන දේවල්. මට ආව කඳුළු නවත්ත ගත්තෙ බොහොම අමාරුවෙන්. ටිකක් එහායින් හිටිය රවිඳු අයිය මේ සේරම බලා ගෙන. මගෙ යාලුවො ටික මාව පිහිදානව සුගත් ඇතුලු කට්ටියට බැන බැන.
 "ටික වෙලාවකින් වතුර නිසා වේලිලා යයි. වෙන දෙයක් උනානම් තමයි ප්‍රශ්නෙ." අසංකි කිව්ව.
අසංකි මගෙ හොඳම යාළුව වගේම මගෙම නෑනා. ඒ කියන්නෙ මාමගෙ දුව. එයා මට වඩා අවුරුද්දක් බාලයි.  අපි අතරෙ තිබුනෙ පුදුම යාළුකමක් නෑ කමට වඩා. අපි හැදුනෙ වැඩුනෙ එකටම නිසා එහෙම වෙන්න ඇති. මගෙ ජීවිතේ හැම දෙයක්ම මම බෙදාගත්තෙ ඈත් එක්ක. හවස අපි පාසැල ඇරිල එත්දි අපි එන්නෙ, පීටර්ස් ලේන් එකෙන් ඇවිත්, කොහුවල හන්දියට ඇවිත්. උදේට වගේ පසල් බස් එක නෑ හවසට. ඒක වෙලාවටම යන නිසා අපිට එන්න අමාරුයි ඒකෙ යන්න. අපි එහෙම ඇවිදන් ඇවිත් කොහුවල හන්දියෙන් 120 ට නගිනව. එදත් සුපුරුදු විදිහට අපි බස් එකට නැග්ග. ටික වෙලාවකින් සීට් එකක් මට ලැබුන. මම එතන වාඩි උනේ කවුද එතන හිටියෙ කියල නොදැන.
" ආ නංගි!" කියල කියන කොටයි මම රවිඳු අයියව දැක්කෙ.
" අනේ! අයිය සොරි, මම දැක්කෙ නෑ ඔයාව. " මම එහෙම කිවුවෙ එයා මොනවත් හිතයි කියලයි.
''අද උදේ හරි වැඩේ නේද? උනේ"
" ම්....... ගානක් නෑ එයාල ඔහොමම තමයි, හැමදාම"
" නංගි , දන්නවද ? සුගත්ල අපේ නෑයො කියල?"
" ආ... ඔව්, එයාලගෙ අම්ම නිතර අපේ ගෙදර එනව අපේ පුංචිව හම්බ වෙන්න ජයවික්‍රම ආන්ටි නේද?"
" ම්......... "
අපි එකටම කතා කරකර ආව. හන්දියෙන් අපි දෙන්න එකටම බැස්ස. අපේ ගෙවල් වලට ටිකක් එහායින් තමයි රවිඳුල හිටියෙ. අසංකි අද හවස  පන්තියකට  යන්න නිසා ඉක්මනින් යනව අපි ඉස්සරහින්.  අපි ඔහේ කියව කියව ආව ගේ ළගටම.
" මම එහෙමනම් මෙතනින් නවතිනව අයියා.......  චෙරියෝ!"
" චෙරියෝ නංගි"
මම අපේ ගුරුපාරට හැරුන. එදා තමයි මට මතක ඇති මුල්ම කතාව ඇති උනේ.  අපේ මුල්ම හමුවීම මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. ඒ මගෙ හිතේ ඒක සදාකාලිකව තැන්පත් වෙලා තියෙන නිසා, කියල මට හිතෙනවා.   එදා ඉදල අපි හම්බ වෙන හැම මොහොතකම කතාකරන්න පුරුදුවෙලා හිටිය. 

ඔය අතරෙ අපි කීපවතාවක් එයාලගෙ ගෙදරට ගියත් කවදාවත් අපිට රවිඳු අයියව හමු උනේ නෑ. එයා එයාගෙ  O/L   වලට පන්තියනව. එන්නෙ රෑ වෙලා. මම එතකොට අට වසර. ඉඳල හිටල මම දකිනව අපේ පාර  අද්දර ඉන්නව එයාගෙ යාළුවො ටිකත් එක්ක. සමහර වෙලාවට සයිකලේ හන්දිය පැත්තට යනව අත වනාගෙන . මමත් ඒ ටිකේ අමතර පන්ති යන නිසා මටත් ඉවරයක් ඇත්තෙම නෑ. දවසම ප්‍රගතියෙ. හවස්වෙලා ගෙදර ඇවිත් ඊළග දවසෙ පාඩම් වලට ලෑස්ති වෙනවා. මම ගොඩාක් දක්ෂ  ළමයෙක් නොවෙන නිසා හරියට පාඩම්ම කරන්න ඕනෙ මතක තියාගන්න. ඔහොම ඉතින් කාලයත් ගෙවෙනවා. වෙන අමතර සිදුවීමක් මට මතක නෑ කියන්න තරම්. මේක තමයි අපේ කතාවෙ ආරම්භය.

4 comments:

  1. හරිම ලස්සන කතාව හරියට මටත් සමීපයි වගේ.

    ReplyDelete
  2. ස්තූතියි! සොයුරිය ඔබට.

    ReplyDelete
  3. කතාපෙලේ ආරම්භය ලස්සනට ඉදිරිපත් කර තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියා. මේ වදන් මට මහත් ශක්තියක් ගෙනේවි.

      Delete