Tuesday, March 17, 2015

සරත් සමයේ විහඟ ගීතය 9







රවිඳු ගියාට පස්සෙ මහ පුදුම පාළුවක්. හිත හදා ගන්න බෑ මට. මගෙ ඇස්වල කඳුළු මං වහන් කර ගත්තේ අමාරුවෙන්. අසංකි අහක බලාගෙන ඉන්නෙ මං දිහා බලන්න බැරිව වගේ. දෙවියනේ, රවිඳු පරිස්සමින් ගෙදර යන්න ඕනෙ. අම්මලා මඟ බලාගෙන ඉන්නවා ඇති අපි එනකල්. නුවර පේරාදෙනිය කැම්පස් එක පහු කරල ගම්පල පාරට අපි ආව ඉක්මනින්ම. 
හැම පැත්තෙම මීදුම. පාර හරියට පේන්නෙ නෑ. පහල කඳු යාය තැනින් තැන වැහිල ගිහින්. හරිම ලස්සනයි. ඒත් ඒ ලස්සන පේන්නෙ නෑ මට. දෑස් තෙත් වෙන්නෙ ඉබේටම. ගම්පල ටවුමට අපි කිට්ටු වෙනකොට දහයට කිට්ටුයි. අප්පච්චි සමහරවිට ඇවිත් හිටීවි කියල හිතුන. ඒ වගේම අපි බස් එකෙන් බහින කොට අප්පච්චි එතන ඉන්නවා. අප්පච්චිට හරි සතුටුයි අසංකිත් ඇවිත් නිසා. ඇගේ හිස අතගාල "කොහොමද? දූ" කියල අප්පච්චි ඇහුවෙ අපි දෙන්නාගෙන්ම. 
අසංකි හිනා වෙලා " හොඳින් ඉන්නවා මාමෙ" කිව්ව.

අපි ආයෙත් ගමට යන්න බස් නැවතුමට ගියා. බස් එක එන්න තව විනාඩි දහයක් වගේ තියෙනවා. අපි එතකල් කතා කර කර හිටිය. නංගිල දෙන්න මග බලා ගෙන ඉන්නෙ කියල අප්පච්චි කිවුවෙ හිනා වේගෙන. 
ගෙදරට එනකොට එකොළහ පහුවෙලා. අම්මගෙ බත් මුට්ටියෙ සුවඳැල් සුවඳින් ගේම පිරිල. නංගිල දෙන්න දුවන් ආවෙ එක පිම්මට.

"අසංකි අක්කි ඔයා ආව එක නම් හරි ෂෝක්. අපිට ඇවිදින්න යන්න පුළුවන්. අනේ අක්කි ඔන්න ඉක්මනින් යන්න එහෙම හදන්න එපා හොඳේ. අක්කි ඔයා හොඳින්ම එක්සෑම් පාස් නේද? අපේ අක්කි අපිට කෝල් කලානෙ අක්කි".
ප්‍රශ්ණ වැලක් නංගිලා ගෙන් අසංකිට.

මම ඉන්නවද කියල වත් ගානක් නෑ. මටත් හිනා මේ දෙන්නගෙ වැඩ වලට. 

අම්මා ඉක්මනින්ම දවල් කෑම ලැහැස්ති කලා. වම්බටු අච්චාරු, අලකොළ මාළුව, කෙසෙල් මුව තෙල්දාල, මාළු මිරිසට උයලා පරිප්පු සමඟ සුවදැල් බත්. රසම රසයි කියල අසංකි කෑම කනව. මටත් කාලෙකින් අම්මගෙන් බත් කටක්. රසයි. 


හැන්දෑවෙ අපි අත්තම්ම බලන්න යන්න කතා උනා. අත්තම්ම මේ ටිකේ අසනීප ගතියෙන් ඉන්නෙ කියල අම්ම කිව්ව.
අපි හැන්දෑවෙ අත්තම්ම බලන්න ආව. ඈතදිම අත්තම්ම අපි එන මග බලා ඉන්නව දක්ක. වෙනදා වාගෙම ගෙට ඇතුල් වෙනකොටම මේසෙ පුරවලා කෑම. කොහොම දැනගත්තා ද මන්දා අපි එන වග. අම්මා කියන්නැති මයෙ හිතේ. අසංකි දණ ගහල අත්තම්මට වැන්දා. මාත් ඒ සමඟම වැන්දා. 
"මොකෝ අත්තම්මා ටිකක් අසනීපෙන් ය කියල අම්ම කීවෙ?"
" ආ ලොක්කියෙ ඒ ඉතින් වයසට එක අසනීප නේ මයෙ දුවේ"
" ඉතින් පුංචි එහෙම කොහොමද? නැන්දලා සනීපෙන් ද? චූටි දූත් ආව එක හොඳයි අක්කි එක්ක"
"මෙහේ ටික දවසක් ඉන්න් පුළුවන් නෙ දූට නේද?"

"ඔව් අත්තම්මෙ, අපි ඉතින් සති දෙකක් වගේ ඉන්න තමයි හිතා ඉන්නෙ"
"අන්න, ලොක්කියෙ අපෙ හාමුදුරුවොත් ඔයාව මතක් කලා ආවහම ඇවිත් යන්නයි කියල" 
"ඔව් , අත්තම්මෙ යන්න ඕනෙ පන්සල පැත්තෙත්, අපේ කිරි අත්ත එහෙම ආවෙ නැතැ  යි මේ පැත්තෙ?"
උන්දැත් දැන් නිතරම් ලෙඩ ගානෙ මයෙ දුවෙ. පුළුවන් වෙලාවෙක බෝවල පැත්තෙ ගොහින් එන්න කො."


අපි ටික වෙලාවක් අත්තම්මගෙ සත්කාර විඳ විඳ හිටිය. එන්න පිටත් උනේ කළුවර වැටෙන්න ඔන්න මෙන්න තියලා. ඈත අම්බුළුවාව යන්තමින් පේන්න ගත්තා. කාලෙකින් යන්න බැරි උනා මට. පහල බෑවුමේ ලස්සන! හිතක් නෑ එන්න .



අම්මයි, නංගිලයි බලා ඉන්නව අපි එන පෙර මග. රෑ කෑම පිළියෙල කරල තියල හැමෝම එළිය පුටු තියාගෙන ඉන්නෙ අපි එනකල්. යාන්තම් තරු එකින් එක මතුවෙනව. ඈතින් හඳ පළුවක් යන්තමට පේනවා. කොකෝවා ගහේ ඉදල මා වවුලෙක් පියාඹගෙන ගියා. සතුටින් කට්ටියම ඉන්න වෙලාව.


කියන්න අහන්න විස්තර ගොඩයි කට්ටියටම. පැයක් විතර ආගිය විස්තර කතා කලා අපි.
අම්මගෙ රසවත් රෑ කෑමෙන් පස්සෙ ඇග පත සෝදාගෙන නින්දට වැටුනෙ ගමන්  මහන්සියත් එක්ක. රෑ යාමෙ හොඳින්ම නින්ද යාගෙන එනකොට මතක් උනේ රවිඳු කරදරයක් නැතිව ගියා ද? කියල. ඒත් ඉතින් කොහොම දැන ගන්න ද? එයා ලිපියක් එවන කල් ම ඉන්න එපා යැ. අසංකිට තදින්ම නින්ද ගිහින්. මහන්සියට වෙන්නැති. කරදර කරන්න හොඳ නෑ. මගෙ හිත නම් හරිම නොසංසුන්. පාන්දර වෙනකල්ම අමුතු හීන පෙනි පෙනී නින්ද ගියෙ. එහෙට මෙහෙට හැරෙමින් කල් යැව්ව මිසක් තද නින්දක් නම් ආවෙම නෑ වගේ. 
පහුවදා පාන්දර මට තදින් නින්ද ගිහින්. ඇහැරෙන කොට අසංකියි මගෙ නංගිල දෙන්නයි උදේම ඇහැරිලා. එළියෙ ඇවිදිනව මහ සීතලේ. අසංකි නම් මේ පරිසරයට හරිම ආසයි. ඒ නිසා වෙන්නැති එළියටම වෙලා ඉන්නෙ. 
දහවල් අපි ටවුමට යන්න හිතුව. මගෙ පාසැල් මිතුරියන් කීප දෙනෙක් බලන්න. නංගිල නම් එන්න කැමති උනේ නෑ. අසංකිත් ඒ නිසා එයාල එක්කම හිටිය. මම තනියම ගියෙ එයාල බලන්න. ටවුමෙන් බැහැල ආයෙත් උඩහට ගියෙ රවින්දිලාගෙ ගෙදරට.
"ආනේ, අනූ! කොහොමද කෙල්ලෙ, කවදද? ආවෙ මම එන්නත් හිටියෙ නැන්දගෙන් විස්තර දැන ගන්න"
" ආ ........... ඒක නම් බොරුවක්, නංගිල දෙන්නම කිව්වෙ ආවෙ වත් නෑ කියල"
" ඒ නම් නංගිලගෙ බේගල්, මට දැන් සතියකට කලියෙන් නැන්දව හමු උනා ඉස්කෝලෙදි"

"ඉතින් , ඉතින් කෙල්ල ලස්සන වෙලා , කියන්නකො අළුත් තොරතුරු"

"ආ , ඇයි මයෙ විතරක් ඔයාගෙ විස්තරත් කියන්නකො. කොළඹ පුංචි මහත්තයා සනීපෙන් ද?"

"ම්.........ඉන්නව ඉන්නව. මාත් එක්කම ආව. අනෙක් පැත්තට ගියා. මම දන්නෑ එයා කරදරයක් නැතිව ගියා ද කියලවත් රවි."

" කොහොමද ඉතින්? යමු අපි ගෙට අම්මත් ඇති අරහෙ."

අපි දෙන්නම පිළිකන්න පැත්තට ගියා. ලස්සනට මල් වවලා ගෙවත්ත හරිම පිලිවෙළයි. රවි මේ දවස්වල ගෙදර නිසා වෙන්නැති.


2 comments:

  1. ලස්සනම ලස්සනයි. තව ලියන්න නංගා , ආසාවෙන් බලා ඉන්නවා. මේ ටිකේම ඇවිත් ගියා. ඇයි එක්සෑම් ද?

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කි, මේ ටිකේම ඉවරයක් තිබ්බෙ නෑ ලියන්න. ස්තූතියි දිරි ගැන්වීමට.

      Delete