Sunday, March 29, 2015

සයිබර් අවකාශයේ හමුවූ ආදරය! ආදර දේවි.







කාලෙකට පස්සෙ  අපේ පලමු හමුවීම සිදු උනේ මෙහෙමයි. 

දෙවියනේ! මේ, දේවින්දි නේද? හිතා ගන්න වත් බෑ මට. කොච්චර කාලයක් හෙව්ව ද? මම. දැන් අවුරුදු විසි පහකටත් වැඩියි නෙ. තාම ඒ වගේමයි. ටිකක් යාන්තමට වයස ගතිය පේනව. ඒ උනාට මුහුණ හැඩ රුව එයාමයි. මැසේජ් එකක් වත් දාල බලන්න ඕනෙ එයාම ද? කියල.

එත්........ එයාට කරදරයක් වෙයි ද? එයාව මගෙන් ඈත් කරන්න එයාගෙ අම්මල ගත්ත වෙහෙසක්. ඒ ප්‍රයත්නයෙ ප්‍රතිඵලය තමා මම අදත් එයා ගැන බලාගෙන් ඉන්නෙ. එයා විවාහකයි. බබාල ඉන්නව ද දන්නෙ නෑ. මහත්තයාත් එහෙන් හොයා ගන්න ඇති. එයාල ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය උනේ නම් මාව එපාම නිසාම තමා. මම අද ඉන්න තැන එයාල ට කිට්ටු වෙන්නවත් බැහැ කියල දන්නෙ මම නෙ.
කොයි එකටත් මැසේජ් එකක් දාල බලනවා.


ආදරණීය දේවින්දි,
අද ඔයාව අවුරුදු විසි හයකට පස්සෙ ඔන්න දැක්කා මූණු පොතේ. ඔයාට මාව මතකද? ඔයාව දැක්කම ඇති උන සතුට කියන්න මට වචන මදි රත්තරං. මම කොච්චර නම් හෙව්වද? ඔයාව. මට පුලුවන් නම් මේල් එකක් එවන්න. මේ මගේ මේල් ඇඩ්‍රස් එක. ශරිත්123@ජීමේල්.කොම්.
කවදත් ආදරේ ශරි.

දවස් කීපයක් ගත උනා උත්තර නෑ. කරදරයක් වුණා ද? දන්නේ නෑ. මේ ටිකේ ඔන් ලයින් ඉන්නවා දක්කෙත් නෑ

බලමු අදවත් මේල් එකක් තියෙවිද කියලා.

ම්........ යාන්තම් ඇති. උත්තරේ ඇව්ත්.


ආදර ශරී,
මම දැනුයි ගෙදර ආවෙ. මැසේජ් එක ඇවිත් කීප දවසක්. නමුත් අපි පොඩි නිවාඩුවකට ටවුමෙන් පිට ගිහින් හිටිය නිසා ලියන්නට නොහැකි උනා. පුදුමයි ඔයාගෙ මැසේජ් එක දැක්කම. යාන්තම් මගෙ හිතට සහනයක්. අවුරුදු ගානක් ඔයා කොහෙද ? කියල මමත් හෙව්ව ශරී. මගෙන් එයාල පළිගත්තෙ ඔයාව මගෙන් ඈත් කරල. ඒ උනාට මට ලැබුන මහත්තයා රත්තරං . එයා මාව ආදරෙන් බලා ගන්නවා. ඒ සතුට මට ඇති
ඔයාට මොනව උනාද කියල නොදැන මම හරිම දුකෙන් හිටියෙ. ඉතිං ඔයා බැඳලා ද? බබාල ඉන්නවද? මට නම් පුතාල දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් දැන්  ඒ ලෙවල් කරනවා. අනෙක් එක්කෙනා 9 වසරෙ. අපි ඉන්නෙ මෙල්බන් නගරෙ. යාන්තම් පොඩි ගෙයක් ගත්තා ලඟකදී. මේ වෙනකල් අපි හිටියෙ ටවුමෙන් ටිකක් ඈතින්.  දරුවන්ගෙ ඉගෙනීම් නිසා අපි ලඟට ආවා. ඉතින් ශරී,  විස්තර ලියන්න. මම මගෙ මේල් එක මේ සමඟ එවනවා.

ඔයාට දළදා සමිඳු පිහිටයි!


ආදර දේවි.

 ගෙදර ආවෙ දැන්. ස්තූතියි! මේල් එකට. මාත් කාලයක් බලා හිටිය ඔයා ගැන විස්තර දැනගන්න. අනෙක් අය, ඒ කියන්නෙ මගෙ සඟයො ටික සේරම නිදි. දැන් වෙලාව පාන්දර 1.00යි. මේ වෙලාවට තමයි වැඩ ඇරිල එන්නෙ. ඔයාට මගෙ නමෙන් නැතිව මට මෙල් කරන්න පුළුවන්ද? මට මෙහේ අය සේරම කියන්නෙ ශරි. නමුත් ඔයාට මම නමක් දෙන්නම් ලැරී කියල. ඒක පහසුයි, මම හිතන්නෙ. මේ මේල් එක පාවිච්චි කරමු. ඒක අපි දෙන්නාටම හොඳයි. ඒක අපි දෙන්නාටම විතරයි. 
දේවි, අදට ඇති. 

හැමෝම සුවෙන් කියා හිතනවා. 


මේ ඔයාගේම ආදර ලැරී. 



විස්තර බලාගෙන හිටිය අදත්, කෝ තාම නෑ. හවසට වත් ඒවි මයෙ හිතේ.


ආදර ලැරී,
ඔයාට මම මේ මේල් එක එවන්නෙ. අද ඉඳලා මම ජෙසි. හොඳා නේද නම. මේ මෙල් ලිපිනය තමා අළුත්ම ලිපිනය. විස්තර ගොඩයි කතා කරන්න, ඒත් අදට ඇති.

ආදර ජෙසී.

දේවි , ජෙසී ලෙසින් ආයෙත් මගෙ ලෝකෙට ඇවිත්. ඒ ලස්සන ලෝකෙ මවන්න අපි දෙන්නට ආයෙත් පුළුවන් වෙන එකක් නෑ.  ඒ ආදරේට ආයෙත් පණ නොදුන්නට අපිට තාමත් ආදරෙන් ඉන්න තහනමක් නෑ. අපි අපේ ජීවිත අවුල් කරගන්නෙ නැතිව ඉන්න බලමු.

දින කීපයක් මම බලා හිටිය තව ලියුමක් ජෙසී ගෙන් එනකල්. 

එදා ඉරිදා දවසක්, මම එදා ගෙදර. ගෙවත්තෙ මල් වලට සාත්තු කරල , දවල්ට කෑම කාල එහෙම  ලැප් එක ගත්තෙ මේල් බලන්න.

ආදර ලැරී,

ඔන්න මම අදත් ආවා. ඔයාට මුලින්ම මම කියන්න ඕනෙ, මම මගේ පවුල් ජීවිතේ අවුල් කරගන්න කැමති නැති බව. පළමුවෙනි කාරණාව ඒක. 
අනෙක කිසිම වෙලාවක ඔයාවත් මම වත් හමුවෙන්නෙ නෑ කියන එක. 
අනෙක ඔයාවත් මමවත් අපි දෙන්නාට අයුතු යෝජනා නොකරන එක. 
මේ කොන්දේසි උඩ කිසිම විටෙක අසභ්‍ය වචන භාවිතයෙන් තොරව අපි කතා කරමු.  මේ වට එකඟ විය හැකිනම් තමයි මේ කතා බහ.

ඉතින්, මගෙ විස්තර ඔයාට කියන්න බලා හිටියා මදැයි. කොච්චර කල් ද?

ඔයා දන්නවනෙ අපි වෙන්වුනාට පස්සෙ කවදාවත් ඔයාව මුණ ගැහෙන්න මට මගෙ දෙමාපියන් ඉඩ දුන්නෙ නෑ. ඒ එයාලගෙ වංශෙට ඔයාව නොගැලපුන නිසා වෙන්නැති. මාව මෙහෙට ගෙනාවෙ මටත් හොරෙන්. එයාල මට මෙහෙ විශ්වවිද්‍යාලයෙ යන්න කියල මාත් එක්ක ආවත් පදිංචි වෙන්න තමයි ප්ලෑන් කරල තිබුනෙ. මම ඒබව දැන ගත්තෙ ගොඩාක් පස්සෙ. මම ඒ හැමදේම ඉවසන් හිටියෙ ඔයාට තියෙන ආදරේ නිසා රත්තරං. එයාල  ඔයාට මොනව කරාවිද? කියන බයට මම හැම වේදනාවක් දුකක්ම ඉවසුවා. ඔයා දන්නවනෙ ලොකු අප්පච්චිගෙ ඇමති කම නිසා එයාල හැම හයියක්ම පෙන්නුවෙ ඒ හයියෙන් කියල.  
නමුත් කාලයත් එක්ක මට ඒ පරිසරයටත් ඒ රටටත් හැඩ ගැහෙන්න උනා.
ඔයාව හැම මොහොතෙම මට මතක් උනා ලැරී, ඒ උනාට මම හරිම අසරණ වෙලයි හිටියෙ. නොදන්නා රටක ජීවත් වෙන්න උනාම තමයි ඒ දේ කාටහරි තේරෙන්නෙ. 
යාළුවෙක් කියල මට කවුරුත්ම හිටියෙ නෑ.

විශ්වවිද්‍යාලයෙ ගෙවුනු අවුරුදු හතරට වත් මට ලඟ යාළුවෙක් හිටියෙ නෑ. මම හොඳින් හැම වැඩක්ම කලා. ඔය අතරෙ මට විවාහ යොජනාවක් ආවෙ අපි අඳුරන ආන්ටි කෙනෙක් ගෙන්. මළින්ද අපේ රටේම කෙනෙක්. එයා හරිම හොඳ කෙනෙක්. මම එයාට කැමති වුනේ එයාගෙ තිබුන හොඳ ගති ගුණ වලටමයි. අපි මුණ ගැසුනෙ පන්සලේ උත්සවයකදි. ආන්ටි යෝජනාව ගෙනාවට මම එයාව දැගෙන හිටියෙ නෑ. එදා අපි දෙන්නා කතා කරල තමයි හඳුනා ගත්තෙ.
එදා ඉඳල මළින්ද මගෙ හොඳම යාළුවෙක් වුණා. එයාගෙ අම්මා තාත්තා වෙන ටවුමක හිටියෙ. ඒ දෙන්නාම අපේ අම්මලා දැනන් හිටියා. එයාටත් එයාගෙ පළමු පෙම්වතිය ඈත රටකට ගිහින්. අද ඈ ඔයා ඉන්න රටේම විවාහ වෙලා ඉන්නවා. මට ඈව කීප දිනක් ලංකාවෙදී හමු වුණා.  මුලදී මටත් ටිකක් අමාරු උනා ඒ හමුවීම. නමුත් දැන් මා හොඳින් තේරුම් අරන් ඉන්නෙ එයාල දෙන්නාවම. ඈ හරිම අවංක යහළුවෙක්. මට නිතර කතා කරනවා, ලියනවා. අපි සුහදව හොඳින් දැන් ආශ්‍රය කරනවා. 
ඉතින්, ලැරී ඔන්න මගෙ විස්තර ටිකක් කීවා. මම ඔයාට ඉතිරි ටික පසුවට කියන්නම්. අදට මේ ඇති. මට පුතාව ගන්න යන්න වෙලාව හරි. හෙට මේල් එකක් එවන්නම්.

මේ ඔයාගෙ ආදර ජෙසී.



3 comments:

  1. අමුතු කතාවක් වගේ. බලමු ඉස්සරහට. ගලාගෙන යන විදිහ නම් ලස්සනයි. මේ වගේ ආදර කතා ගොඩක් ඇති මම හිතන්නෙ. දැන් ලෝකෙ හරිම පුංචියි නෙ. දිගටම ලියන්න නංගි, ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! අක්කේ. ඔව්, මේ වාගෙ ආදර කතා බොහොමයක් ඇති අද කාලෙ. දිගටම බලන්න. ස්තූතියි! අයෙත් දෙන දිරියට අක්කා.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete