සතියක් ගෙවෙන්නෙ මටත් නොදැනීම. මග බලාගෙන හිටිය මගෙ රවිඳුගෙන් ලියුමක් එනකල්. දවසක් උදේ මම අත්තම්මලාගෙ ගෙදරට පල්ලම් බහිත්දි ඔන්න අපේ පියුම් මාම මඟදිම හමු උණා. මම අතට ගත්ත ලියුම, අරන් අඩියට දෙකට ගුරුපාරෙ බෝක්කුව උඩ වාඩි උණා.
ආදර අනූ,
ඔයාගෙ විස්තර දැන ගන්න මට විදිහක් ඇත්තෙම නෑ. ඒ නිසා මෙහෙම ලියන්න හිතුවෙ. ගෙදරින් කරදරයක් නොවේය කියල හිතනවා. මම මේ ටිකේ හරිම පාළුවෙන් ඉන්නෙ. අසංකිව වත් දැක්කෙ නෑ. ක්ලාසස් නිසා මටත් අවිවේකියි. එහේට යන්නත් වෙලාවක් ලැබුණේ නැහැ.
ඉතින් ඔයාගෙ විස්තර කොහොමද? ඔයාට මාව අමතක වෙයි කියල මට බයයි. අම්මා, අප්පච්චී සහ නංගිලා සුවෙන් ඇතැයි සිතමි. ඔයා මේ ටිකේ මොනවද? කළේ. පන්සල් නම් යන්න ඇති නේද? මෙහෙදිත් කිය කියා නෙ හිටියෙ ගලේ පන්සල ගැන. මේ ටිකේ නම් මෙහෙට හරියට වැස්ස. අපි දෙන්න එක්ක පන්ති ගිය කාලෙ මතක් වෙනවා. ඔයාට දැම්ම A/L ක්ලාසස් පටන් ගන්න කියල සර් මට කිව්වා. ඒ නිසා ඉක්මනින්ම එන්න බලන්න. නැත්නම් ඔයාට ඒව අල්ල ගන්න බැරි වේවි.
මට ඔයාගෙ පුංචි හම්බ උණා. මාත් එක්ක කතා කළා. මම දැන් කරන්නෙ මොනවද? විස්තර ඇහුව. මම බයේ හිටියෙ වෙන දෙයක් අහවිද? කියල. යාන්තම් ෂේප්. අපේ ගෙදර හැමෝම සුවෙන් ඉන්නවා. අක්කා නම් නිතරම ඔයාව මතක් කරනවා.
ඉතින් , ඔයාගෙ විස්තර ලියන්න. මට ගොඩක් ලියන්න හිතේ තිබුණත් මෙහෙම ලියන්න බැහැ. ඔයා දන්නවනේ එහෙම ලියන්න බැරි බව. ඔයා එනකල් මඟ බලා ඉන්නවා. ඉක්මනින්ම එන්න බලන්න.
ඔයාට, දළඳා සමිඳු පිහිට! ආදරෙන්ම පතනවා.
මම ඔයාගේම ආදර
රවිඳු.
මම ලිපිය කියෙව්වෙ එක හුස්මට. කොහොම උණත් එයාට මම නැතිව පාළුව දැනෙනව ඇති. හොඳ වෙලාවට ගෙදර කවුරුත් හිටියෙ නැත්තෙ. නැත්නම් අහන ප්රශ්න පත්තර වලට උත්තර බැඳල ඉවරයක් නැතිවෙනව මට.
මම හිමිහිට අත්තම්මලාගෙ ගෙදරට යන්න ගියා. අත්තම්මා මිඳුළෙ මල් පාත්තිවලට සාත්තු කරනව. තේ යාය අයිනෙ තිබුණ මල් පාත්ති ගෙමිදුලට එක් කළේ හරිම චමත්කාරයක්. පාට පාට ඩේලියා පඳුරු අස්සෙ තැනින් තැන වවල තිබ්බ බේබිස් බ්රෙත් අමුතු ලස්සනක් එක් කළා.
" ආ ලොක්කියෙ, මම ඒත් බැලුව අද පරක්කු ඇයි කියල, අම්ම වැඩට ගියාද දරුවො?"
"ඔව් ආත්තම්මේ, අද නංගිලා දෙන්නත් ඔන්න ගියා ඒ එක්ක. ඉතින් මම ගෙවල් වහල දාල එන්න පරක්කු උණා"
"ඉතින් , ලොක්කියේ දැන්වත් කියන්නකෝ පුංචිලාගෙ විස්තර. කෝ , තාම නෑනෙ දරුපලක් එහෙම"
" අනේ ඒක තමයි, අත්තම්මෙ, පුංචි නම් ඔන්න එක එක තැන්වලට භාර හාර නම් වෙනව කෙළවරක් නෑ. අනේ මන්දා ඒවට ප්රතිඵල නම් නෑ වගේ"
"එහෙම කියන්න එපා දරුවො, ඒව බලා ඉන්න තරමටම එන්නෙ නෑ, ඒ උණාට ඒවට කවදා හරි ඒ ඇත්තො බලාවි මයෙ පුතේ. උබට මේ කරන දේම මදෑ උන්ට දෙවියො බලන්ට"
“ඒක ඇත්ත, අත්තම්මෙ"
මමත් අත්තම්මත් පඩි කීපය නඟිමින් ගෙට ගොඩ වුණෙමු. මිඳුලේ පිපුණ සේපාලිකා මල් වල සුවඳ ගේ පුරාවට විසිරිලා. හරිම සුවඳයි. උදේම අතුගා පිළිවෙළ කර තිබූ සාලයේ මේසය මත ඩේලියා පොකුරු කීපයකින් සැරසූ මල් බඳුන මගේ නෙත් පැහැර ගත්තේය. සැටිය මත වාඩිවී මම පුවත් පත අතට ගත්තෙමි. එක තැනකට රඳවා ගත නොහැකි සිත ඒ මේ අත දුවයි. කොහොම හරි ඉක්මනින්ම කොළඹ යන්න ඕනෙ. නැත්නම් මෙහෙම ඉන්න මටත් අමාරුයි. මම රවිදුට ලියුමක් ලියන්නෙ කොහොම ද? එහෙම ලියන්න ගෙදර කවුරුත් නැතිවෙන්නම ඕනෙ නේ. අද නම් හොඳ දවස. ඒත් අත්තම්මා ගෙන් ගැලවිලා ගෙදර යනව නම් බොරු.
" මොනවද? දුවේ ඔය තරම් හිතන්න තියෙන්නෙ?"
" නෑ, අත්තම්මෙ මම මේ කල්පනා කරේ මම ඉක්මනින්ම කොළඹ ගියොත් හොඳයි වගේ. නැත්නම් මට අලුත් වැඩ අල්ලා ගන්න අමාරු වෙයි"
" තව ටික දොහක් හිටියොත් බැරිවෙයිද? මයෙ පුතේ"
" මාත් ඉන්න නම් ආසයි , ඒ උණාට දැන් මගෙ යාළුවෙක් ලියුමක් එවල තිබ්බා , එයා නම් කියන්නෙ දැන්මම පංති පටන් ගෙනයි කියල"
" අනේ, මන්දා ලොක්කියේ , අම්ම අප්පච්චිත් එක්කම ඕවා කථා කරල තීරණය කරන්න කෝ. ඒ අයට ඉතින් හොඳට දැනුම් තේරුම් තියෙනවා නේ."
දවල්ට අත්තම්මගෙන් රසම රස කෑම වේලක්. මයියොක්කා තම්බලා පොල් සම්බල සමඟ කැකුළු බත් එක්ක එළවළු ජාති කීපයක්. කාලෙකින් ගමේ කෑම වේලක් අත්තම්මා අතින් උයාපු.
හවස් වෙන්න ඔන්න අපේ නංගිල දෙන්නාම ආව එහෙට. අපි තුන් දෙනා තේ බීල පැණි වළලු කාල එහෙම ගෙදර එන්න පිටත් උණා. මම රෑ කෑම මේසෙදි කොළඹ ගමන ගැන කිව්වා. අප්පච්චි ගෙන් නම් හොඳ ප්රතිචාර. අම්මා නම් ටිකක් අදි මදි. තව ටිකක් ඉඳලම ගියා නම් හොඳයි නේද? ඇයි ? ඔච්චර ඉක්මනින්ම යන්නෙ? ප්රශ්ණ පේළියයි. කාරණා කරුණු පැහැදිලි කළාම ඔන්න තව සතියකින් විතර යන්න බැරියැ කියල අන්තිමේ අවසර ලැබුණ.
පහුවදා කොහොම හරි පුංචිම ලියුම් කෑල්ලක් ලියල රවිඳුට යවන්න, පියුම් මාමට දුන්නා.
ආදර රවිඳු,
මුලින්ම ස්තූතියි , ලිපියට. මම මඟ බලාගෙන හිටියේ ලිපියක් එනකල්. ඔයාගේ විස්තර දැන ගත්තාම සතුටුයි.
අපේ ගෙදර අය හැමෝම සුවෙන්. අත්තම්මා බලන්න නිතර ගියා ඇරෙන්නට ගලේ පන්සලටත් ගියා. මෙහේ මේ දිනවල හරිම සීතයි. කඳු යායම වෙලාවකට මීඳුමෙන් වැහෙනවා. බලන්න හරිම ලස්සනයි.
ඉතින්, මටත් ඔයා නැතිව හරිම පාළුයි. මම ලබන සති අන්තයේ කොළඹ එන්න හිතා ඉන්නවා. අමාරුවෙන් අම්මාගෙන් අවසර ලැබුණා.
ගෙදර අය ආදරෙන් මතක් කල බව කියන්න. හමු උණාම විස්තර කතා කරමු.
ඔයාට තෙරුවන් සරණයි!
මම ඔයාගේම ,
ආදර අනූ.
හැමදාම බලා ඉන්නවා නංගි ඉතිරිය කියවන්න. කතාව මම මගේ කරගෙන කියවන්නේ. ඒ තරම්ම සුන්දරයි. ඔබට මෙය ඉදිරියට කරගෙන යන්න දිරිය ශක්තිය ලැබේවා!
ReplyDeleteබොහොම ස්තූතියි අක්කේ දෙන දිරියට. ජය!
Deletehmm.. lassanata galagena yanava.
ReplyDeleteබොහොම ස්තූතියි නංගියා දෙන දිරියට. ජයම වේවා ඔබටත්!
Deleteඅහම්බෙන් කියවන්න ලැබුනු බ්ලොග් එකක්. ලස්සන කතාවක් ලියවෙනවා වගේ. මුල සිටම කියවන් එනන් වෙයි. දැගටම ලියන්න සුභ පැතුම්...
ReplyDeleteමුල සිටම කියවන්න අයියා . බොහොම ස්තූතියි!
Deleteමම වගේම නිසා වර්ශා නංගිගෙ බ්ලොග් එකෙන් ඔයාව බලන්න ආවෙ. ලස්සන කතාවක්.. කෙටි කතාවත් ගොඩක් ලස්සනයි. දිගටම ලියන්න. සුබ පැතුම්.!!
ReplyDeleteබොහොම ස්තූතියි!
Deleteමම වගේම!......... බලමු මාරුකරගන්න.
මගේ බ්ලොග් එකේ දාපු කමෙන්ට් එකකින් හොයාගෙන ආවෙ... මෙන්න මෙයා ලස්සන කතාවක් ලියනවා... මම දිගටම එනවා කියවන්න... ජය වේවා!!!
ReplyDeleteබොහොම ස්තූතියි දෙන දිරියට. ජයම වේවා!
Delete