අමිල සෙනෙහස!
“හලෝ, ඔය වාසනීද?.........”
"ආ......ඔව්! කවුද? ඔය!"
" අනේ , අනේ අඳුර ගන්න බැහැ නේද? ආ "
"ම්.........කටහඬ නම් හුරුයි වගේ,
ආ...... මේ
අරවින්ද ද? "
"අප්පේ ඇති යාන්තම්... එහෙම වත්
මතක තිබ්බා. ඉතින්, ඉතින් කොහොමද ? කෙල්ලෙ"
"මම හොඳින් ඉන්නවා ඔයාට කොහොමද? කවද ද ලංකාවට ආවෙ?"
"ආවෙ, නම් දැන් සතියකට කලින්, මම මේ ඔයාට කතා කලේ අපිට
ආයෙත් හමුවෙලා කතා කරන්න පුලුවන්ද ?
කියල අහන්න යි"
ඈ මොහොතක් නිහඬයි.
" ම්......... ඒක නම් ටිකක් අමාරුයි, මේ ටිකේ දෝණිගෙ ක්ලාසස් , මම යි එයාව ක්ලාස් එක්ක යන්නෙ. කොහොමත් මම හෙට විතර
ඔයාට දවසක් කියන්නම්"
" එහෙනම් ඔන්න මම බලා ඉන්නවා"
"බායි"
"බායි"
රිසීවරය තැබූ මම
වාසනී ගැන සිතන්නට වීමි. ඇය මගේ පාසැල් කාලයේ පෙම්වතියයි. ඇය හා මා අතර තිබූ බැඳීම
මෙතැකැයි මැණීමට මට සාක්ෂි නැත. මා රට හැර යනතෙක්ම ඇයට ප්‍රේම කලෙමි. අපගේ වෙන්වීම
මෙසේ සිදුවුණි යැයි කීමට මතකයක් මට නැත. කෙසේ හෝ අප වෙන්විය. ඇය වෙනකෙකු හා අත ගන්නට තීරණය කොට මට ඉතා කෙටි
ලියුමක් එව්වාය. මම එය කියවන විට මා ද විවාහකයෙකු බව ඈ නොදැන
සිටින්නට ඇත. අපි කාලයක් අප ගැන
නොදත්තෙමු. නමුත් පහුගිය වසර පුරා ඇය
මට නොයෙක් විට ලිපි ලීවාය. මම ද ඒවා කියවා අපමණ අමන්දානන්දයට පත්වීමි. මම ඈගේ පළමු පෙම්වතා වෙමි. මාගේ පළමු පෙම්වතියද ඇයයි. ඈ ඒ දිනවල ඉතාම රූමත්
තරුණියකි. මා සිහින මැව්වේද ඇය කෙසේ හෝ මා සතුකර ගැනීමටයි.
එදා සිට අද දක්වා බොහෝ දේ සිදුවී ඇත. මගේ නෙත්මානයෙන් ඇය ඈත් වනු නොරිසි වූ මට අද සිදුව ඇත්තේ ඇගේ එක වදනකින් හෝ සැනසීම පමණි. එය ද අද මට මහත් සන්තෘප්තියක් ගෙන දේ. අහම්බෙන් මුහුණු පොතේ හමුවූ දා පටන් ඇය මට ඈ ගැන සියළුම විස්තර ලියා එවා ඇත. මා දකින්නට පෙරුම් පුරන බවත් ඒ සඳහා දින ගනිමින් සිටින බවත් ලියා එව්වාය. හදිසියේ ලංකාවට පැමිණි මම ඇය හමුවීමට සිහින මවමින් කාලය ගත කලෙමි. ඇගේ සැමියා මේ වනවිට විදේශ ගතවී සිටින බව වෙනත් යහළුවෙකු මාර්ගයෙන් මම දැන ගතිමි. මේ අවස්ථාව ඉතා හොඳ අවස්ථාවක් බව සිතූ මම ඉක්මණින්ම ඇය හමුවීමට තීරණය කලෙමි.
එදා සිට අද දක්වා බොහෝ දේ සිදුවී ඇත. මගේ නෙත්මානයෙන් ඇය ඈත් වනු නොරිසි වූ මට අද සිදුව ඇත්තේ ඇගේ එක වදනකින් හෝ සැනසීම පමණි. එය ද අද මට මහත් සන්තෘප්තියක් ගෙන දේ. අහම්බෙන් මුහුණු පොතේ හමුවූ දා පටන් ඇය මට ඈ ගැන සියළුම විස්තර ලියා එවා ඇත. මා දකින්නට පෙරුම් පුරන බවත් ඒ සඳහා දින ගනිමින් සිටින බවත් ලියා එව්වාය. හදිසියේ ලංකාවට පැමිණි මම ඇය හමුවීමට සිහින මවමින් කාලය ගත කලෙමි. ඇගේ සැමියා මේ වනවිට විදේශ ගතවී සිටින බව වෙනත් යහළුවෙකු මාර්ගයෙන් මම දැන ගතිමි. මේ අවස්ථාව ඉතා හොඳ අවස්ථාවක් බව සිතූ මම ඉක්මණින්ම ඇය හමුවීමට තීරණය කලෙමි.
දින දෙකකට පසුව ඇය මට දුරකථන ඇමතුමක් දුන්නාය.
"හලෝ , අරවින්ද? මම වාසනී"
" ආ ගුඩ් මෝනිං කෙල්ලෙ , ඉතින් ,
ඉතින්...."
" මට ලබන සඳුදාට ටිකක් ප්‍රී , මම දෝණිව අම්ම ලඟ තියල
එන්නම් ඔයාව මීට් වෙන්න ,
හැබැයි මට පැය දෙකකට වඩා ඉන්න ලැබෙන්නෙ නෑ හොදේ. ඔයා මට
හරියටම වෙලාවයි තැනයි කියන්න මම එන්නම්."
" හරි, මම හරියටම අද හවසට වෙලාව කියන්නම් කෙල්ලෙ. එහෙනම් ගුඩ් බායි"
මුළු සවස් කාලයම ගත කලේ අපට සුව පහසු කාමරයක්
සොයා ගැනීමටයි. යාන්තම් අන්තිමේ අපට
කිට්ටු තැනක් ලැබුණි. එතන මනරම් උද්‍යානයක් සමඟ බොල්ගොඩ වැවට නුදුරු ස්ථානයකි.
දුටු මොහොතේ පටන් ඒ සුන්දර ස්ථානයේ වාසනී සමඟ ගත කරන හැටි සිහින මැව්වෙමි. ඈ මට
අහිමි වූවද කෙසේ හෝ ඇය සමඟ මොහොතක් ගෙවීමට මා සිත කාලයක පටන් බල කරයි. ඇගේ රූ
සපුවෙන් මත්වී සිටි මට අවාසනාවන්ත ලෙස ඇය හිමිකර ගැනීමට නොහැකිවීම ගැන සිතමින් මේ
අවුරුදු කීපයම ගෙවූ බව නම් සහතිකය. සවස ඇය අමතා සඳුදා උදේ 9.30
ට ඇය හමුවෙන බව කීවෙමි. අපි කොහේ යනවා දැයි ඇයට නොකීමට වග
බලා ගතිමි.
ඒ දින කීපය පුරාම
මම ඇය සමඟ එකට ඉන්නා සැටි සිතේ මවා ගනිමින් ප්‍රීති වූයෙමි. ඇයගේ පහස විඳිමින් ඇය හා
පෙම් බස් දොඩමින් කාලය ගෙවන හැටි මනස පුරා සිත්තම් කලෙමි. ඇයගේ සුරතල් කථා බහ
හමුවේ මා තොඳොල් වෙන හැටිත් , ඇය සුරත මා සුරතේ
වෙලා ඇයගෙ තොල් පහස විඳින අයුරුත් සිතමින් කාලය ගත කලෙමි. කාමරයට පැමිණ ඇය හා මොහොතක් එක්ව ගතකරන අයුරුත්,
මා ඇය සතුටින් සන්තර්පනය කරන අයුරුත් සිතමින්ම සිටියෙමි.
සඳුදා උදෑසන ඇය
මට ඇමතුමක් දුන්නාය. උදේ 9.30
වන විට ඇය පාර අද්දරට එන බවත් ඉක්මනින්ම අපි එතනින්
යායුතු බවත් කීවාය. මම හයර් කරමින් තිබූ මැස්ඩා රථයේ පාට කළු බව කියා මා ඇයව රැගෙන
යන්නට හරියටම වෙලාවට එනබව කියමින් මම ඇමතුම විසන්දි කලෙමි.
ජැන්ඩියට හැද
පැළද ගත් මම බෲට් කොලොන් ස්වල්පයක් ද තවරා ගතිමි.
ඊයේ සවස ගත් ලොකු චොකලට් ස්ලැබ් එකද බෑගයකට දමා ගතිමි. ඇය සඳහා මම චාංගි ගුවන්තොටු
පළින් මිළදී ගත් අලංකාර ඕකිඩ් පෙන්ඩන්ට් එක සහිත කුඩා මාලය ද ගත් මා අඩියට දෙකට
එළියට බැස්සෙමි. විනාඩි කිහිපයකින් මා මහපාරට ආවෙමි. රථය ඇගේ නිවස අද්දර පාරට
එන්නට ගතවූයේ පැය කාලක් පමණ වේලාවකි. ඇය පැමිණ නැත. මම ටික වේලාවක් බලා සිටියෙමි.
සුරංගනාවියක් බඳු ඈ පාර කෙලවර මතුවනු දුටු මට නෙත් අදහාගැනීමට නොහැකි විය. ඈ පෙර
මෙන්ම සුන්දරව සිටියාය. හොඳින් පිරුනු අඟ පසඟ තවත් ඈ හැඩ කලා යැයි මට සිතුණි. දරුවකු ඉන්නා මවක වූවද ඈ මගේ බිරිඳ ජානකීට වඩා බෙහෙවින් ප්‍රියංකර මුදු පෙනුමෙන්
දිස්විය. ජානකී සමඟ ලංකාවට මෙවර නොපැමිණීම ගැන මම සතුටට පත්වීමි. සතියක් පුරාම ඇය
හා සහවාසයේ යෙදීම ගැන සිහින මවමින් සිටි මට ඈ දැකීමෙන් ඇතිවූ සතුට මෙතෙකයි කීමට
නොහැක.
මම කාරයේ ඉදිරි පස දොර හැර පාර පැන එන ඈ
පිළිගැනීමට බලා සිටියෙමි.
"ගුඩ් මොනිං අරවින්ද"
" ගුඩ් මෝනිං කෙල්ලෙ, කොහොමද ? ඉතිං"
" අයියෝ ඔයාගෙ ඔය කෙල්ල කෑල්ල හලන්නෙ කවදා ද? මම නම් හොඳින් ඉන්නවා, ඔයා?"
" ආ පේන්නැත් ද මාත් බොහොම හොදින්" මම
කීවෙමි.
ආදරය පිරුණ
දෑසින් ඈ දෙස මොහොතක් බලා සිටි මම කාරය පණ ගැන්වූයෙමි. සැනෙකින්ම අප සුවාරපොළ පැත්තට
හැරවූ බව මට වැටහුනේ හන්දිය පසුකරන විටයි. මම ඇය අත ගතිමි. ඇය හිමිහිට මගෙන් අත මුදා
ගත්තාය. මම එය එතරම් ගනන් නොගත්තෙමි. මොරටු පාරේ මද දුරක් ගිය තැන අපි ආපසු වමට හරවා
සෙන්මිචෙල් පාරට යායුතුයි. මම කාලෙකින් මේ පලාතට නොපැමිණියත් හෝටලය බැලීමට දින දෙක
තුනකට කලින් පැමිණි නිසා පාර හොඳින් මගේ
මතකයේ රැදී තිබුණි.
මද වේලාවකින් අපි
හෝටලය අසල කාර් පාක් එකට ආවෙමු. ඉක්මනින්ම අපි එහි අපේ අනන්‍යතාව සටහන් කොට ගඟ
අද්දර පිහිටි අප කාමරය වෙත ආවෙමු. ඒ අසල පිහිටි කුඩා ගල් බංකුව මත මම වාඩි උනෙමි.
ඈ ද මා අසලය. මම ඇගේ අත ගතිමි. ඈ එවරද මට නොදැනීම අත මුදා ගත්තාය. මම ඇගේ පැත්තට
හැරෙමින් එක කකුලක් නවා ගනිමින් ඈ දෙස
හැරී බැලුවෙමි. ඇගේ මුව පෙර මෙන්ම සුන්දරය, නැවුම් ය. ඈ මලක් මෙන් පිවිතුරු ය. මොහොතක් අප ඇස් ගැටිණ.
ඇය මගේ නෙත් මඟ හරිණු මට දැණුනි. නමුත් මා එය ගනන් නොගත්තෙමි.
අපි මොහොතක් අපි
ගැන කථා කලෙමු. මා වෙන්ව ගිය පසු දෙමාපිය බල කිරීමට ඈ සුගත් හා විවාහ වූ බවත් ඇගේ
පවුලේ අනෙක් අය ගැනත් , ඇගේ ස්වාමියාගේ පවුලේ විස්තරත් ජානකී ගැනත් අපි කතාකලෙමු. මගේ දරුවන්
දෙදෙනා ගැන ද විස්තර ඈ විටින් විට ඇසුවාය. දහසක් ප්‍රශ්ණ වලට පිලිතුරු දෙන අතරේ ද
මා සිටියේ ඇයගේ රූ පහස රහසේ විඳිමිනි. ඈ සමඟ තනිවෙන්නේ කොයි වෙලා වේ දැයි සිතමින්
සිටි මට, සමහර වෙලාවට ඈ කරදරයක් මෙන් දැනුනි. අපි ඔරෙන්ජ් ජූස් වීදුරු දෙකක් ගෙන්වා
ගතිමු. එය සෙමෙන් හිස් කල පසු මම ඈව කාමරය වෙත කැඳවා ගෙන ගියෙමි. ඈ මා දෙස පුදුමයෙන් බලා
සිටි මුත් මා පසුපස හිමිහිට ආවාය. අපි දෙදෙනාම ඇතුලට ආ පසු මම දොර අගුල් දැම්මෙමි.
අප කාමරය ඉතා පිරිසිදුව හා ලස්සනට පිළියෙල කර
තිබුණි. අලුත් මල් පොකුරු කීපයක් දමා තිබූ මල්වාස් එක සුවඳ විහිදමින් කාමරය පුරා
නැවුම් සුවඳක් පතුරවාලීය. ලා නිල් පැහැති හා සුදු තිර රෙදි දමා තිබූ ජනේල දෙක ගඟ පැත්තට ඇර
දමා තිබුණි. තද නිල් පැහැති ඇඳ රෙද්ද පිලිවෙලට එලා නවා තිබුණි. එයටම ගැලපෙන බඩු
භාණ්ඩ වලින් සමන්විත කාමරය මගේ සිත් ගත්තේය. ඇය එතනම තුබූ පුටුවක වාඩිවී හිස්
බැල්මෙන් ගඟ දෙස බලා සිටියාය. නාන කාමරය
හා ඇඳ යට පරීක්ෂා කල මම ඇඳ මත වාඩි වීමි. මම මොහොතක් ඇය දෙස කෑදර සිතින් බලා සිටියෙමි. ඇය පෙර මෙන්ම ඉතාම
සුන්දරය. ඈ කෙසේ හෝ නතුකර ගැනීමට මගේ ජාගර
සිත මට බලකරයි. අඩවන් බැල්මෙන් ඈ දෙස බැලූ මට ඇය ගේ මුහුණ වෙනස් වනු මට හොදාකාරව
පෙනුණි. මම යලි නැඟිට ඇය අසලට ගොස් ඇයව තුරුල් කර ගැනීමට සැරසෙත්ම " අනේ
අරවින්ද මාව අල්ලන්න නම් එපා, මම කැමති නෑ"
" ඒ මොකෝ කෙල්ලෙ, ඇයි මේ?" මහත් පුදුමයෙන් මම ඇසීමි.
" මම දැන් අයිති සුගත් ට නෙ, මම එයාට ඇර වෙන
කෙනෙකුට අයිති වෙනවට මම කැමති නෑ"
මම විශ්මයෙන් ඈ දෙස බැලූවෙමි. ඇය නිසලව සිටිමින්
ම දෙස නොබලා සිටී. මම ඇය ගේ කරවටා අතක් දැමූවෙමි. ඈ එය හිමිහිට ඉවත් කලාය.
මම එතනම තිබූ පුටුව මත වාඩිවීමි. ඈ ද මා අනුගමනය
කරමින් ලඟින්ම වාඩි වුනාය. මම හිමිහිට ඇයගේ උරහිස හා පිට පෙදෙස පිරිමදිමි. ඇයගෙන් කිසිම ප්‍රතිචාරයක්
නොළැබෙයි. ඇය නොකැමෙත්තෙන් සිටින බව මට දැනේ.
" අනේ අරවින්ද මාත් එක්ක තරහනම් වෙන්න එපා, මම මේ ගමන ආවෙ ඔයා ඩිංගක්
කතාකරන්න ඕනෙ කියල මම එන්න පොරොන්දු උන නිසයි, මම මගේ මහත්තයාට ගොඩක් ආදරෙයි, එයා හරිම හොඳයි, මට බෑ අරවින්ද එයාට වරදක්
කරන්න.” කඳුළු පිරි නෙතින් ඈ කියයි.
මොහොතක් නිසලව මම බලා සිටියෙමි. ඇගේ අත් මගේ අත්ල
මතට ගෙන සෙමෙන් පිරිමැද්දෙමි. ඈ හිමිහිට ඇගේ අත් ඉවතට ගත්තාය.
"මට සමාවෙන්න , අරවින්ද. මට මෙහෙම ඉන්න බෑ, ඔයාට තේරෙනවා නේද? ඔයා උනත් ජානකී
මේ වගේ හැසිරෙනවට ආස වෙන එකක් නෑ, මම මගෙ දෝණිට ගොඩක් ආදරෙයි අරවින්ද, මට දරුවගෙ මූණ
බලන්න බැරිවෙයි මෙහෙම ඉඳල මම ගියොත්. මේක මට කරන්න බෑ. ඔයා මාව ඉක්මනින් ම මෙතනින් ගෙනියන්න
ප්ලීස්"
මම හිමිහිට ඇගේ හැඟීම් උද්දීපනය වන ලෙස ඇගේ අත්
හා පිට ප්‍රදේශය පිරිමදිමි. ඇගෙන් කිසිම ප්‍රතිචාරයක්
නොලැබෙයි. මම මම ගැනම ලජ්ජා වීමි. නමුත් මගේ උත්සාහය අත්හැරිය නොහැක. මම සෙමින් ඈ
ලඟට කරගනිමි. ඈ තව තවත් මගෙන් ඈත් වෙයි.
"ප්ලීස් අරවින්ද, ප්ලීස් , මට මේ දේට
එකඟ වෙන්න බෑ. මම කලේ නම් මහ පවුකාර වැඩක්. මෙහෙම බවක් දන්නවා නම් මම එන්නෙ නෑ. මට
ඔයාව දකින්න , කතා කරන්න, ආස හිතුන . ඔයා මගෙන්
වෙන්වෙලා ගිහාම ඒ ඇයි ? කියල මට දැන ගන්න ඕනෙ කම තිබුන අරවින්ද. ඒක නිසාම යි මම අද ආවෙ. ඒත් මෙහෙම ඉන්න නෙවෙයි. ඔයා මාව තේරුම්
ගන්න ප්ලීස් , මම අද හොඳ ෆැමිලි ලයිෆ් එකක් ගෙවනවා. මගෙ ජීවිතේ හොඳට තියෙනවා. මගෙ
මහත්තයා අතින් මට මොනම අඩුපාඩුවක් වත් වෙන්නෙ නෑ. එයා මට හරිම ආදරෙයි, මට එයාගෙ මූණ බලන්න
ඕනෙ."
ඇය හඬමින් කියයි. මම යලිත් ඈ දෙස බලමි. ම'සිත ලජ්ජා විය
යුතුය. ඈ කොතරම් ගුණගරුකද?
මම මහත් අසීරුවට පත්වීමි. ලැජ්ජාවට පත්වීමි.
" කමක් නෑ වාසනී, මේ මගේ අවාසනාව. මම අද ආවෙ මොහොතක් ඔයා ලඟ ඉන්න. ඒකට කමක්නෑ. මෙන්න මෙතනට
ඔයාට පුලුවන් නම මට හාද්දක් දෙන්න, ප්ලීස් " මම මගේ මුහුණ ඇය වෙත
පෑවෙමි.
"අනේ , මට බෑ අරවින්ද? මාව ඉක්මණින් මෙතනින් ගෙනියන්න"
කුමක් කරන්නද? මගේ අවාසනාව .
කුමක් කරන්නද? මගේ අවාසනාව .
" ආ .. වාසනී, කමක් නෑ, මේක ඔයා තියාගන්න, මම ඔයාට ගෙනාවෙ, මේක නම් ඔන්න එපා
කියන්න නම් එපා හොදේ”
“ඒකට කමක් නෑ අරවින්ද, මට තෑගි අවශ්‍ය නෑ. මට
ඔයා හැමදාම හොඳ යාළුවෙක් වගේ
ඉන්න, ඉස්සර ඔයා හරිම මට ආදරෙයි, දැනුත් එහෙම ඉන්න, මට ඒ හොදටම ඇති”
“මම හරිම අවාසනාවන්තයි වාසනී, මම කාලයක් බලා ගෙන හිටිය ඔයා එක්ක මෙහෙම ඉන්න.
කෝ මට ඒකට ඉඩක් නෑනෙ.”
“ඒකට මට කරන්න දෙයක් නෑ අරවින්ද මම දැන් කෙනෙකුට
අයිති වෙච්ච කෙනෙක්, ඒක ඔයාට තේරෙන්න ඕනෙ”
ඇය මගේ තෑග්ග
කිසිම හැගීමකින් තොරව අතට ගත්තාය. මගේ ලෝකය කඩා වැටීම පිළිබඳව ම'සිත වෙලා ගත්තේ
මහත් ලජ්ජාවකිනි. මම හෝටලයට පැමිණියේ මහත් බලාපොරොත්තු ඇතිවය. ඒ සියල්ලම දැන් කඩා වැටී ඇත. කරන්නට දෙයක් ද
නොමැත. මට ඇයට බලහත්කාර කමක් කිරීමට නොහැක. එසේ කලහොත් ඇය මා සමඟ කිසිදා කතා
නොකරනු ඇත. මම එළියට ගොස් එනතෙක් ඇයට දොරවසා ගැනීමට කියා මගේ මුදල් ගනුදෙනු පියවීමි.
කළමණාකරු පුදුමයෙන් මා දෙස බලා “මහත්තය ල ආව ගමන්ම යන්නද? ”යි අසත්දී මට පොළව පලා
ගෙන යන්නට සිතුණි. ආපසු එනවිට ඇය යන්නට ලැහැස්තිවී සිටියාය. මම මගේ කුඩා බෑගය අතට ගතිමි. ඇය මා
වැළද ගෙන මගේ කම්මුලට සෙනෙහසින් හාද්දක්
දී මගෙන් ඈත් විය.
" අරවින්ද, ආදරය කියන්නෙ, තමන් ආදරය කරන
කෙනා තමන්ටම අයිතිකර ගැනීමම නෙවෙයි, ආදරය ඊට වඩා ගොඩාක් උතුම් දෙයක් ඒක කවදා හරිම
ඔයාට තේරේවි. මම ආයෙත් ඔයාට කියන්නෙ මාත් එක්ක තරහ වෙන්න එපා, මම ඔයාගෙ මුදල්
නාස්තිකරන්න හිතාගෙන ආව නෙවි. තෑන්ක්ස්, මාව තේරුම් ගත්තාට. මම ඔයාට එදා වගේම අදත් ආදරෙයි"
"ඔයා දන්නෙ නෑ වාසනී,
මම ඔයාට ආදරේ තරම්. ඒක මම මැරෙන තුරුම මගේ ලඟ රැදේවි
කෙල්ලෙ" කියමින් මම ඇය අත ගෙන එළියට ආවෙමි.
අපි වැඩි කතා බහකින් තොරව රථය පාරට දැමුවෙමු. වාහනයේ
දී මම ඇගේ අත අල්ලා බලෙන්ම සිප ගතිමි. හිමිහිට රිය පැදවූවත් පැය භාගයක් වත් යන්නට
මත්තෙන් අපි ඇගේ නිවස ඇති පාර අද්දරට පැමිණ සිටියෙමු.
"ඔන්න, අරවින්ද, ජානකී එක්ක ආව වෙලාවක මාව බලන්න එන්න එහෙම අමතක කරන්න එපා" මගේ අත්ල මහත් සෙනෙහසින් සිප ඈ මගෙන් සමුගත්තාය.
මම මහත් සෙනෙහසින් පිරි දුකකින් ඇය මට
පිටුපා යන දෙස බලා සිටියෙමි. ඇගේ සිත තුළ වූ අමිල සෙනෙහස තේරුම් යන විට මම බොහෝ දුරකට ගොස් සිටියෙමි. ~~~~~~********** ~~~~~.
හොඳ ආදර්ශවත් කථාවක් නංගි. මම නම් එක හුස්මටම කියවගෙන ගියා. හරිම සුන්දරයි. ඒ වගේම පතිනියක තුල තිබිය යුතු පතිනි ගුණය ඉස්මතු කරල කතාව ලිවීම ගැන ගොඩක් ස්තූතියි. අද බොහෝ විට ලියවෙන්නෙ වැරදි ආදර්ශයක් ලබා දෙන කථාමයි. ඒ වරද ඉස්මතු නොවී මෙහෙම ලියවෙන්නෙ කලාතුරකින්.
ReplyDelete